ජන සමාජයේ විවිධ වූ ක්‍රියාවලීන්ට අනුගත වීමේ නිපුණතාවය මූලිකව ම ලබා දිය යුතු වැදගත්ම කණ්ඩායම වන්නේ දරුවන් ය. තමා ජීවත් වන සමාජයත්, එහි ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යන සාධක පිළිබඳවත්, පුළුල් වූ අවබෝධයක් ලබා දීමේ අරමුණ පෙර දැරිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන දිවයිනේ පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන ඇත. ඒ අනුව තිරසර සාමයක් තුළින් තිරසර සංවර්ධනයක් අත් කර ගැනීමේ උදාරතර දැක්ම පෙරටුකර ගෙන සැරියුත් සිසු දරු දැරියන්ගේ අපේෂාවන් මල් ඵල ගැන්වීමටත්, ඔවුන් දැනුමෙන්, ආකල්පවලින් සහ කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීමත් උදෙසා විධිමත්, කාර්යක්ෂම මෙන් ම ස්ථාවර වූ ප්රතිපත්තියකට අනුව ක්‍රියා කිරීමට මාතර ශාරිපුත්‍ර විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ද, ශිෂ්‍ය මන්ත්‍රීවරුන් ද නිරන්තරයෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති විද්‍යාලය තුළ ක්‍රියාවට නැංවීමේදී දිනෙන් දින වෙනස් වෙන ලෝකයට අනුව නව තාක්ෂණය හා බද්ධ වෙමින්, මුදල් හා පුද්ගල කළමනාකරණයකින් යුතුව, අධ්‍යාපන ක්ෂේත්රය සංවර්ධන කිරීමට මුල් තැන දෙමින් කටයුතු කිරීම අපගේ අරමුණයි. මෙකී කර්තව්‍යයන් සඳහා අප විද්‍යාලයේ ධර්මාචාර්ය අතිපූජ්‍ය විටියල සෝමානන්ද හිමි, විදුහල්පතිනි ඩී. බී. එම්. වසන්තා මැතිණිය ප්රමුඛ නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ තුමියන්ලා, ගුරුභවතුන් මෙන් ම විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද දක්වන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය ය.
අමිල තාරුක: මාතර ශාරිපුත්‍ර විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය